Wednesday, July 16, 2014

ප්‍රීතිමත් පවුලක රහස

“කොහොමද බං උඹලා ගෝරි බෝරි නැතුව කිරි පැණි වගෙ පවුල් කන්නෙ?” ධම්මික සේවා සංගමයේ මාසික රැස්වීමේදී නිහාල් ගෙන් ඇසුවේ තමා සමඟ නිතර අඬදබර ඇති කරගන්නා තම බිරිඳ සිහි කරමිනි.

”ඒකෙ රහස මේකයි ධම්මික. අපේ ගෙදර සිල්ලර ප්‍රශ්නවලදි තීරණ ගන්නෙ අනෝමා. බැරෑරුම් ප්‍රශ්නවලදි තීරණ ගන්නෙ මම. ඒ එකඟත්වය හින්දා අපි අතර ගැටුම් ඇත්තෙම නැති තරම්.” නිහාල් සිනාසී පිළිතුරු දුන්නේය.

“මොනවද ඔය සිල්ලර ප්‍රශ්න?” ධම්මික ඇසුවේ තද කුතුහලයෙනි.

“අපි කන්නෙ බොන්නෙ, අඳින්නෙ පලඳින්නෙ මොනවද? යන්නෙ එන්නෙ කොහෙද? ගෙදරට වියදම් කරන්නෙ මොනවගෙ දේවල්වලට ද? ඔන්න ඔය වගෙ සිල්ලර දේවල්වලදි තීරණ ගන්නෙ අපේ අනෝමා.” නිහාල් පැහැදිලි කළේය.

“එතකොට බැරෑරුම් ප්‍රශ්න කිව්වේ?” ධම්මික උනන්දුවෙන් ඇසීය.

“පෞද්ගලික විශ්වවිද්‍යාල පනත මේ රටට සුදුසුද?, ද්‍රවිඩ සංවිධානෙ එක්ක තවදුරටත් සාකච්ඡා කරනවද? Z ස්කෝ එක විශ්වවිද්‍යාල ප්‍රවේශයෙදි අනාගතයටත් යොදා ගන්නවද? මනාප ඡන්ද ක්‍රමය අහෝසි කරනවද? ඔය වගෙ බරපතළ ප්‍රශ්නවලදි තීරණ ගන්නෙ මම” නිහාල් කීවේ ආඩම්බරයෙනි.


2 comments: